
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක – divaina.com
මොනරාගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් ඇතිමලේ පොලිස් වසමට අයත් යාල රක්ෂිත වනයේ කැබලිත්ත – දික්කන්ද ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදී වනසතුන් දඩයම් කිරීමට ගොස් සිටි පුද්ගලයන් දොළොස් දෙනකු බෙහෙත් කොටන තුවක්කු හතක් සමග ඉකුත්දා අත්අඩංගුවට ගෙන ඇත.
බෙහෙත් කොටන තුවක්කුවලට යොදන වෙඩි බෙහෙත්, ඊයම් කැබලි සහ විදුලි පන්දම් අහස්කූරු, රතිඤ්ඤා ඇතුළු භාණ්ඩ රැසක් සැකකරුවන් ළඟ තිබී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් දොඹගහවෙල, සියඹලාණ්ඩුව සහ කොටියාගල යන ප‍්‍රදේශවල පදිංචිකරුවන්ය. සැකකරුවන් සහ නඩු භාණ්ඩ සියඹලාණ්ඩුව මහෙස්ත‍්‍රාත් ටී. එම්. රවීන්ද්‍ර රංජන් බණ්ඩාර මහතා හමුවට පෙරේදා (17 දා* සවස ඉදිරිපත් කරන ලදුව සැකකරුවන් වරද පිළිගත් හෙයින් සැකකරුවන් 11 දෙනෙකුට රුපියල් විසිපන්දහස බැගින්ද එක් සැකකරුවෙකුට රුපියල් දස දහසක්ද වූ දඩ නියම කෙරිණි. සැකකරුවන් වෙනුවෙන් නීතීඥ ගංගා අබේසිරිවර්ධන මහත්මිය පෙනී සිටියාය. මොනරාගල වන සත්ව අඩවි ආරක්ෂක අජිත් ගුණතුංග, වන සත්ව නියාමකවරුන් වන ටී. කේ. පී. ජයමාල්, සමීර තිලකරත්න, වනජීවී ක්ෂේත‍්‍ර සහායකවරුන් වන ගයාන් දුශාන්ත, ජී. ඩබ්ලිව් රණවීර, ඒ. එම්. එස්. ටී බණ්ඩාර යන නිලධාරීන් වැටලීම සිදුකර ඇත.