Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ආන්ඩුවේ හරිත පැකේජය

හේමන්ත විතානගේ – පරිසර යුක්ති කේන්ද්‍රය

රසායනික පොහොර හා ක්ෘශි රසායන තහනම ගැන කලින් ටිකක් ලිව්වෙමි. තව ටිකක් ලියන්නට හිතුනේ එහි නිර්මාපකයන් දිලිත්, බැසිල් සුසංයෝගය බවත් පසුගියවරද වස විස නැති ගොවිතැන ප්‍රවර්ධනයට කියා මිලියන ගනනක් විනාශ කල කිහිපදෙනකුම මෙයට සම්බන්ධවී ඇති බව දැනගන්නට ලැබුනු නිසාය. මෙනිසා අතිශය උද්දාමයට පත්වූ පරිසරවෙදීන්ද සිටී. බොහෝ දෙනා කතා කරන්නේ රසායනික පොහොර නවතාලීම වුවද, මෙහි පුනර්ජනනීය බලශක්තිය නිපදවීම, වනාන්තර හා අලිමංකඩවල ඇති ගම්මාන වල අය වෙනත් තැන්වල පදිංචිකොට නැවත එම ඉඩම් වනාන්තරගත කරන්නට යාමත් වන ඝනත්වය වැඩි කිරීම ඇතුලු පරිසර සංවේදී පුද්ගලයන් ආකර්ශනය කරගන්නට සමත් බොහෝ දේ පැකේජයක් ලෙස ලබාදී ඇත. එය ඉතා ආකර්ශනීයය. එහෙත් මට හිතෙන විදිහට මෙයින්, පරිසර විනාශය ගැන රජයට තිබූ විරෝධය කලමනාකරනය කර ගැනීමත්, ඉදිරියේ රටට වැටෙන ආර්තික අගාධයට යම් විකල්පයක් රජය සොයන බව ජනතාවට ඒත්තු ගැන්වීමත්, විවිධ පක්ශ මගින් ගෙන එන්නට උත්සාහ කරන බවට කෙරෙන හරිත දේශපාලනය හෙවත් ජනතාවගේ හරිතභාවයට ඇති කැමැත්ත බලය ලබාගැනීමට භාවිතාවීම වෙනුවට එය තමන්වෙත නම්මවා ගැනීම, මෙන්ම බැසිල් රාජපක්ශගේ ආගමනය හරිත ආගමනයක් යයි පෙන්වීමට කරන ප්‍රෝඩාකාරී උත්සාහයකි. මෙය ක්‍රියාත්මක කරවීමට මමද දන්නා කිහිපදෙනෙක් සහිත කමිටුවත් පත්කොට ඇත. ඔවුන් බොහෝ දෙනා දක්ශයන්ය. සමහරවිට දිලිත්ටද මේ ගැන සැබෑ ඕනෑකමත් තිබිය හැක. මම දුටු ආකාරයට ඔහුද අනුප පැස්කුවල් සමග පරිසර වැඩවලට අවදානය යෙදවූ බව ඇත්තකි. එහෙත් නව ලිබරල් ආර්තික‍ය මුල් බැසගත් ක්‍රමවේදයක් තුල, වෙනත් අර්තක්‍රමයක් නොදන්නා බලයක් ඇති කන්ඩායමක් සහිත පාර්ලිමේන්තුවක් සහිතව, චීන නයගැති, එමෙන්ම, ලෝකවෙළද සංවිදානය හා වෙනත් නයදුන් රටවලට බැදීමක් ඇති රටක් විදිහට මෙවැන්නක් කලහැකිද යන්න කල්පනාකිරීම වටී. ප්‍රොඩාකාරී එකක් නොවේනම් එය අර්ධ වශයෙන් හෝ ක්‍රියාත්මක කර ගැනීම රටට සුබදායකය. එහෙත් මෙම යෝජනාද මූලික ප්‍රාග්ධනයන් නොයොදා කල හැකි ඒවා නොවේ. රජයේ ක්ෘශිකර්ම උපදේශකයන් සමාගම් වල බලයට නතුව ඇති, ක්ෘශිකර්ම කාර්‍යාලවලද නාමපුවරු ක්ෘශිරසායනික සමාගම්වල මුදලෙන් සවිකරදෙන, බලශක්ති උපදේශකයන් ගල් අගුරු හෝ ගෑස් හැර පුනර්ජනනීය බලශක්තිය කල නොහැකි එකක් බවට ඒත්තු ගන්වත්දී, වනාන්තර මංකොල්ලකන දේශපාලන හිතවාදීන් ඇති මැති ඇමතිවරුන් සිටියදී, පිටරටින් ගෙන්වන සෑම දෙයකින්ම කොමිස් කන්නන් හා අධික ලාබ ලබන සමාගම් සිටියදී, මේ ක්‍රමය තුලද බිහිවන කාබනික පොහොර සැකසීම වැනි දේ තම ඒකාධිකාරයට ගන්නට උත්සාහකරද්දී මෙය පොලවේ පැල කිරීම එතරම් පහසු නැත. ලංකාවේ කිහිපදෙනෙක් තාක්ශනිකව ක්ෘශිකර්මාන්තය කරන බව කීවද බහුතරයක් කරන්නේ දෙමව්පියන්ගෙන් හා කඩේ මුදලාලි කියන විදිහටය. ක්ෘශිකර්ම නිලදාරීන් කල දෙයක් ඇත්නම් ඒ කිහිපදෙනෙකු විය යුතුය. පසුගියදා මා ගිය කොටියාගල ප්‍රදේශයෙදී ඇස ගැසුනේ අති විශාල වනාන්තර ප්‍රමානයක් ඉවක් බවක් නැතිව පසුගිය වසර ගනනාවෙදී වනසා ඇති බවය. පසුගිය දශකදෙක තුල වනසා ඇති වනන්තර ප්‍රමානය අක්ක්ර 60,000කට වැඩිබව කෙනෙක් කීවේය. ඒ වෙනත් ආහාර භෝගයන්ට වඩා බඩ ඉරිගු වගාකිරීමටය. එවන් ම්නිසුන් පොහොර නොමැතිව වගා කරන්නට ඇද දැමීමෙන් විය හැකි භයානකම ප්‍රතිපලය තව තවත් සරුබිම් සොයා වනය විනාශ කිරීමයි. ඉහත යෝජනාවලින් වඩාත්ම සංවෙදී කාරනය වන්නේ ගොවිතැන සම්බන්ධ අංශක 180 කින් හැරවූ ප්‍රතිපත්තියයි. මෙය මෙවර වැරදුනොත් මෙරට වස විශ නැති ගොවිතැන ආපසු පොලොව මත කෙසේ වෙතත් මිනිසුන්ගේ සිත් තුල පැල කරන්නට තවත් දශක කිහිපයකට බැරිවනු ඇත. අප 71-77 රජය තුල වගා සංග්‍රාමයක් කලෙමු. මල් පෝච්චිවල පවා මිරිස්, සෝගම් හා එලවලු වැව්වෙමු. කුකුලල, බතල ඉඩම පුරා වැව්වෙමු. එහෙත් මිරිස් පොල්ල, හාල් පොල්ල එම ක්‍රමය තවත් දශක හතරකට ලක් පොලොවේ බිහි නොවන්නට වට පිටාව සකස් කලේය. පසුව ගෙන ආ දෙමුහුම් බීජ නිසා ඒ බීජ බැංකුව අප සහමුලින්ම විනාශ කලේය. පෙර සටහනේ කීවාක් මෙන් කියුබාව වැනි රටවල ඇති පාලනයක් සහිත පරිසර ආර්තික ගොවිතැන ලක් පොලොව මත බිහි නොකොට රටවටේ නගර සභා, මහ නගර සභා වල බිහිවන රසායනික වලින් අතිශය දූශනය වුනු නාගරික කැලි කසල අඹරා කාබනික පොහොර ලෙස රට වටේ බෙදා කාබනික ක්ෘශිකර්මාන්තය කරන්නට ගියහොත් අපේ වල අපම කපාගන්නවා නියතය.

Admin

Read Previous

Then and now: When silence descended over Victoria Falls

Read Next

වල්සපුගල අඛණ්ඩ සත්‍යග‍්‍රහය නිමා කරයි – ඇමැති නාමල් සමග කළ සාකච්ඡුාව පළ දරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!