අශ්වයා පැන ගිය පසු ඉස්තාලය යළිත් වසනවාද?

ගෙඟන් එගොඩ වන්නට ඔරුවට නැග ගත් පණ්ඩිතයෙක්, තමා තාරකා ශාස්ත‍්‍රය එහෙම දන්නවා ඇති නේදැයි මහත් උජාරුවෙන් තොටියාගෙන් ඇසීය. අනේ නෑ පඬිතුමෝ යැයි තොටියා උත්තර දුන්නේය. එහෙනම්, ගණිත සාස්තරය, පුරාවිද්‍යාව යනාදී තව තව බොහෝ සාස්තර ගැන දන්නේදැයි පඬිතුමා තොටියාගෙන් ඇසුවේ ඔච්චමට මෙනි. මෙසේ ටික වේලාවක් ගමන් කරන විට ඔරුව ගඟ මැදට පැමිණ තිබිණි. ඒ අතර, අහස කළුකරගෙන මහා විශාල කුණාටුවක් මෝදු වෙමින් ආවේය. එන පොට හොඳ නැති බව දැනගත් තොටියා, ඔබතුමා පිහිනුම් ශාස්ත‍්‍රය එහෙම දන්නවා ඇති නේදැයි පණ්ඩිතයාගෙන් ඇසුවේය. අනේ නෑනේ….යැයි පඬිතුමා බැගෑපත් දෑසින් යුතුව තොටියාට පැවසීය. එහෙනම් ඉතිං දෙයියන්ගේම පිහිට තමයි කියූ තොටියා පෙරළෙන ඔරුවෙන් ගඟට පැන පිහිනා ගියේය.

මේ අපි කවුරුත් දන්නා කතාවකි. මේ කතාව අපට සිහිපත් වන්නේ ජනමාධ්‍ය ඇමැති සහ කැබිනට් ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් තීරණ දැනුම් දීම සඳහා වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී සිදුකරන ලද ප‍්‍රකාශයක් නිසාය. කෙහෙළිය ඇමැතිතුමා කොහොමටත් ආන්දෝලනාත්මක ප‍්‍රකාශ කරන්නට දක්ෂයෙක් බව අපි දනිමු. ගුරුවරුන්ගේ විරෝධතාවට කමෙන්ට් දෙන්නට ගොස් ඔහු පැවැසූ කාලකණ්ණි කතාවක් නිසා පසුගිය දිනවල රට රත්වූ බවද අපි දනිමු.

මේ අතර, පසුගිය කැබිනට් තීන්දු පිළිබඳ මාධ්‍ය සාකච්ඡුාවේදී ඔහු කියන්නේ කොවිඞ් වසංගතයට ඇති එකම හා හොඳම විසඳුම එන්නත්කරණය බවයි. එසේ නැති වුණොත් ඉතිං දෙයියන්ගේ පිහිට තමා යැයි ඔහු කියන්නේ රෙදි ඇඳගෙනදැයි අපට ප‍්‍රශ්නයක් තිබේ. කොහොමත් දැනටත් ජනතාවගේ වැඩි පිහිටට ඇත්තේ දෙයියන් පමණක් බව අමුතුවෙන් කියන්නට උවමනා කාරණයක් නොවේ. නමුත්, ජනතාව වැඩි බලයකින් ආණ්ඩුවක් හා ජනාධිපතිවරයෙක් රටට පත්කරගෙන ඇත්තේ දෙයියන්ගේ පිහිට යදින්නට නොවේ. එසේ හෙයින් කෙහෙළියගේ ප‍්‍රකාශය අපි දකින්නේ වගකීම් රහිත ප‍්‍රකාශයක් හැටියට ය. ඔහුට ඊට වඩා වැදගත්, වගකීම් සහිත ප‍්‍රකාශයක් ජනතාව ඉදිරියේ තබන්නට තිබිණි. ඔහුට නොහැකි නම් ඒ සඳහා වෙන කවුරුන් හෝ ඒ වැදගත් ප‍්‍රකාශය කරන්නට තිබිණි. ඔහුගේ මෙම ප‍්‍රකාශයෙන් තව ආණ්ඩුවට කරන්නට යමක් ඉතිරිව නැති බව හඟවන අතර, ඊට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද යන්න ප‍්‍රකාශයක් නිකුත් කළ යුතු බව අපගේ හැඟීමයි. අඩුම තරමේ ආණ්ඩුව අපහසුතාවට පත්කරන්නේ යැයි කියමින් පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් මහතාගෙන් හෝ පැහැදිලි කිරීමක් නිකුත් වීමට බොහෝ සෙයින් ඉඩ තිබේ.

සැබවින්ම මේ තීරණාත්මක අවස්ථාවකි. කොවිඞ් නිසා මේ වනවිට දිනක මිය ගිය වැඩිම පිරිස පෙරේදා (10) වාර්තා විය. එය 118 කි. දිවයිනේ සෑම සියලූ රෝහලක්ම පාහේ කොවිඞ් රෝගීන්ගේ උපරිමය වාර්තා කර ඇත. මිය යන ගණන ද සැලකිය යුතු තරමේ සංඛ්‍යාවකි. පෙරේදා (10) අප පෙන්වා දුන් පරිදි රටේ දරුවන් පමණක් 45000 ක් දෙනා වසංගතයට ගොදුරු වී ඇත. දැන් දැන් දොස්තරවරුන් හා සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල ද වැඩි වැඩියෙන් රෝගයට ගොදුරු වෙමින් පවතී. රෝගය වැලඳුණු ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි (එම්. ඕ. එච්.) පද්මශාන්ත මහතා ද අවාසනාවන්ත ලෙස දිවිය හමාර කර ඇත. මේ වන විට රෝහල් ධාරිතාව පමණක් නොව, වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යමණ්ඩල ආසාදිතයින්ගේ ගණන ඉතා ශීඝ‍්‍ර ලෙස ඉහළ යමින් පවතී.

වාර්තා වන පරිදි වව්නියාව රෝහල් කාර්ය මණ්ඩලයේ වෛද්‍යවරුන් දෙදෙනකු ඇතුළු 87 දෙනකු රෝගයට ගොදුරුවී ඇත. කලවාන රෝහලේ 5 දෙනකුට කොවිඞ් ය. රට පුරා රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 2000 ක් වසංගතයට ගොදුරුව ඇත. දකුණු පළාතේ පමණක් පැය 24 ට ආසාදිතයින් 1000 පැන ඇත. රටේ පවතින්නේ මෙවන් තත්ත්වයකි. ඉතිං පිහිටට ඉන්නේ දෙයියන් පමණක් යැයි කීම සදාචාර සම්පන්න කතාවක් නොවේ. දෙයියන්ගේ පිහිට ගන්නට නම් ආණ්ඩු පත් කරගන්නට ඕනෑ නැත, අවශ්‍ය වෙලාවේදී රට වසා තීන්දු තීරණ ගත්තේ නම් මේ තත්ත්වය යම් හෙයකින් අඩු කරගන්නට හැකියාව තිබිණි. සෞඛ්‍ය අංශ කොතරම් කීවත් අවශ්‍ය අවස්ථාවලදී රට වැසුණේ නැත. පළාත් අතර සීමා දැම්මාට ඒ තුළ ඕනෑ තරම් රෝගය පැතිරෙන්නට අවස්ථාව ලබා දී ඇත. මංගල්‍ය උත්සව සඳහා තවමත් 50 කට ඉඩ දෙන්නේ ඇයිදැයි අපට තේරෙන්නේ නැත. පළාත තුළ වුවත් මෙතරම් බුරුලක් ලබාදීමෙන් රෝගය පැතිර නොයන්නේ යැයි රජය උපකල්පනය කරන්නේද? නොහොත් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොතකා රජය කාගේ හෝ මුසා බස් අසන්නේද? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවා කියන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරන ලෙසය. ඒ නැතිව ඕනෑ ඕනෑ විදිහට මිනිසුන්ට රංචු ගැසෙන්නට ඉඩ දී විනාශයේ වගකීමෙන් ආණ්ඩුවට ගැලවෙන්නට නොහැකිය.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

ලෝක අලි සුරක්ෂිතතා දිනය (12) අදට යෙදී ඇත.

Read Next

හරිත සමාජ-ආර්ථිකය රටට ගලපා ගන්නේ කෙසේද…?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »