Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

අරුණ කතුවැකිය 2021.07.30 “දැනගෙන ම කළ යුතු ආනයන සීමා”-

අල, බී ලූනු හා මිරිස් ඇතුළු නිෂ්පාදන ගණනාවක් ආනයනය නතර කිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර තිබේ. මේ අතර ඉදිරියේදී කරවල ආනයනය ද නතර කිරීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා දේශීය කරවල නිෂ්පාදකයන් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.
බැලූ බැල්මට මෙම තීරණද පෙනෙන්නේ මේ අවස්ථාවේ රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට කෙටි කාලීන පිළියමක් ලෙස ගනු ලැබූ පියවරක් ලෙසය. මේ වන විට මේ ආකාරයට තවත් භාණ්ඩ රැසක්ම ආනයනය සීමාකර හෝ නවතා දමා තිබේ. එසේ වුවත් අප කල්පනා කරන ආකාරයට නම් අල, ලූනු, මිරිස් වැනි මෙරට නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනය සීමා කිරීම නම් මීට බොහෝ කලකට පෙර ගත යුතුව තිබූ අගය කළ යුතු තීරණයකි.

කිසිම රටකට සියයට සියයක් ආනයනයන්ගෙන් තොරව පැවැතිය නොහැකි නමුත් මෙරට ආර්ථිකයට නම් ආනයනය යනු පිළිලයක් වී ඇති කාරණයකි. ඉන්ධන, ඖෂධ වැනි දේ පමණක් නොව සරුංගල් වැනි දේ පවා ආනයනය කිරීමෙන් විදේශ විනිමය සීමාවකින් තොරව නොරටට ඇදී යෑම නිසාය. අවශ්‍ය, අනවශ්‍ය හැමදේම ආනයනය කිරීම විදේශ විනිමය නාස්ති වීමට පමණක් නොව මෙරට කෘෂිකර්මාන්තය ඇතුළු සමස්ත නිෂ්පාදන ක්ෂේත්‍රයම අඩපණ වී අකර්මණ්‍ය වීමට හේතුවකි.

මේ දක්වා පැවති හැම ආණ්ඩුවක්ම පුරුදු වී සිටියේ මෙරට පරිභෝජනයට පමණක් නොව අපනයනය කළ හැකි තරමට මෙරටදී නිෂ්පාදනය කළ හැකි අල, ලූනු, මිරිස් පවා ආනයනය කිරීමටය. මේ පියවර ගන්නේ පාරිභෝගිකයා සැනසීමට බව කියතත්, ඒ පිටුපස ඇති කොමිස් ජාවාරම ආනයන දිරිගන්වන හේතුවක් බව කවුරුත් දන්නා කාරණයකි. කෙසේ වෙතත් ප්‍රමිතියකින් තොර ආනයනය නිසා විය යුතු ලෙසම ගොවීන් හා දේශීය නිෂ්පාදකයාට තට්ටු වූවා පමණක් නොව පාරිභෝගිකයාට අත් වූ සෙතක්ද නැත. දිගින් දිගටම අල, ලූනු, මිරිස් ආනයනය කිරීමෙන් සිදු වූයේ එම නිෂ්පාදන ගොවීන් දවසින් දවස වගාව අතහරින තත්ත්වයට පත් වීම පමණය. ඒ තත්ත්වය පෙරළා ආනයන මාෆියාවට පනින රිළවුන්ට ඉණිමං බැඳීමක් හා සමාන විය.

අල, ලූනු, මිරිස් පමණක් නොව මෙරට නිපදවා ගත හැකි ඕනෑම දෙයක් ආනයනය තහනම් කිරීම අප අගය කරන්නේ එම තීරණයෙන් මෙම තත්ත්වය වෙනස් කළ හැකි නිසාය. එහෙත් ආනයනය නතර කළ පමණින් දේශීය ආර්ථිකය දියුණු වන්නේ හෝ දේශීය නිෂ්පාදකයාට කප්රුක පහල වන්නේ යැයි සිතිය නොහැකිය. ඒ සඳහා විධිමත් ඉලක්ක සහගත වැඩපිළිවෙළක් තිබිය යුතුය. නැතහොත් සිදුවන්නේ ගොවියා පමණක් නොව පාරිභෝගිකයාද, වෙළෙන්දා ද යන මේ සියලු දෙනා කබලෙන් ළිපට වැටීමය.

කිසියම් භාණ්ඩයක ආනයනය නතර කළ සැණින් සිදුවිය හැක්කේ වෙළෙඳපොළේ අදාළ භාණ්ඩයේ හිඟයක් ඇති වීමය. එවිට එහි මිල ඉහළ යෑම වැළැක්වීමට සක්කරයාගේ පුතාටවත් බැරිය. පසුගිය කාලයේ කහ ආනයනය තහනම් කිරීමේදී ඇති වූයේ එම තත්ත්වයයි. කහ නොයොදා හෝ ආහාර පිසීම කළ හැකි නමුත් මිරිස් වැනි ද්‍රව්‍යයක් නොමැතිව එසේ කළ නොහැකි බව රස, ගුණ හඳුනන ඕනෑම කෙනකු දන්නා දෙයකි. මේ නිසා අනවශ්‍ය භාණ්ඩ හිඟයක් හෝ මිල ඉහළ යෑම වළක්වා ගැනීමට වැඩපිළිවෙළක් තිබිය යුතුය.

කිසියම් භාණ්ඩයක් ආනයනය නතර කිරීමේදී සිදුවිය හැකි තවත් අනර්ථයක් වන්නේ හොර බඩු ජාවාරම ඉහළ යෑම ඒ ඔස්සේ රේගුව වැනි ස්ථානවල අල්ලස් ගැනීම් සීඝ්‍රයෙන් ඉහළට යෑමය. ආනයනය තහනම් කළ භාණ්ඩ හොර රහසේ රට ඇතුළට එන්නේ නම් තහනමෙන් අපේක්ෂිත අරමුණු ඉටුකර ගත නොහැකි බව අමුතුවෙන් කිවමනාද? එයින් සිදුවිය හැකි එකම දේ නම් අල්ලස් කාක්කන්ගේ බැංකු ගිණුම් තරවීම පමණය.

මේ ආකාරයට කෘෂි භෝග ආනයනය තහනම රටට විනාශයක් නොවී සුගතියක් වීමට නම් කළ යුතු පළමු කාරිය වන්නේ දේශීය ගොවිතැන ප්‍රවර්ධනය දියුණු කිරීමට දැනුවත් සංයුක්ත වැඩපිළිවෙළක් තිබීමය. සංයුක්ත යැයි කියන්නේ වගා කිරීමේ සිට වෙළෙඳපොළට නිෂ්පාදන ලැබීම දක්වා වන සියලු පියවරයන් අයත් වැඩපිළිවෙළකි. මෙවැනි වැඩපිළිවෙළක් සඳහා මේ රටේ දැනට ඇති කුඹුරු සංඛ්‍යාව කොපමණක්ද යන දත්තයන් හෝ කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය සතු විය යුතුය.

මඩ සෝදාගත් කළ ගොවියා රජකමට වුවත් සුදුසු වන්නේ යැයි කියන නමුත් ඇත්තම තත්ත්වය වන්නේ ගොවීන් ක්‍රමයෙන් ගොවිතැනින් ඈත්වෙමින් සිටීමය. මේ තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් බොහෝ තැන්වල කුඹුරු ගොඩ කෙරෙමින් තිබේ. ඊයේ අප පුවත්පතේ පළ වූ වාර්තාවකට අනුව කොවිඩ් වසංගත සමයේ මේ දක්වා බස්නාහිර පළාතේ පමණක් කුඹුරු ඉඩම් ඇතුළුව ඉඩම් අක්කර සිය ගණනකට වැඩි ප්‍රමාණයක් ගොඩකර තිබේ. ගොඩකර නැතත් වගාව අතහැර දමන ලද පුරන්ව ගිය කුඹුරු රටේ කොතනත් දැකගත හැකිය. රටට අවශ්‍ය තරමින් වවන්නට නම් මේවා සම්බන්ධයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් තිබිය යුතු වනු ඇත.

රසායන පොහොර භාවිතය තහනම් කිරීමේ තීරණය නිසා ඇතිව තිබෙන නොසන්සුන්තාවද තවමත් අවසන් වී නැත. රසායන පොහොර භාවිතය වෙනුවට කාබනික පොහොර ආදේශ කිරීම දිගුකාලීනව පරිසරයටත්, වැඩදායී වන තීරණයකි. එහෙත් මේ බව ගොවීන්ට හා රටට ඒත්තු ගැන්වීමට සමත් වූ බවක් තවමත් දකින්නට නැත. අල, ලූනු වැනි පාරිභෝගික භාණ්ඩ ද ආනයනය නවතා දමා රටේ කෘෂිකර්මාන්තය දියුණු කරන්නට අදහස් කරන්නේ නම් පොහොර අවුලද ඉක්මනින් විසඳාගත යුතුව තිබෙන අවශ්‍යතාවකි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සීමා කිරීම හෝ නවතා දමන්නේ නම් අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කාරණයක් වන්නේ ඊට සුදුසු කාලය තෝරා ගැනීමය. පාරිභෝගික භාණ්ඩ ආනයනය ගොවියාටත්, රටටත් හෙණයක් වූයේද සුදුසු කාලය තෝරා නොගෙන ආනයනය නොකිරීමය. අප දන්න දා සිටම මෙවන් භාණ්ඩ ආනයනය කෙරුණේ රට තුළ ඒවායේ අස්වැන්න ලැබෙන සමයේය.

අප කල්පනා කරන ආකාරයට නම් අල, ලූනු ආනයනය තහනම් කරන්නේ නම් කළ යුතුව ඇත්තේ මෙරට අස්වනු නෙළන සමයේය. නැතහොත් වගා කටයුතු ආරම්භ කරන්නට පෙරය. එවිට අදාළ භාණ්ඩ හිඟයක් රට තුළ ඇති නොවන්නා සේම කොයිතරම් ප්‍රමාණයක් වගා කළ යුතු දැයි පුරෝකතනයක්ද කරගත හැකි නිසාය.

ආනයන සීමා කිරීමේදී අප කවුරුත් පිළිගත යුතු සත්‍යයක් තිබේ. එනම් මේ අවස්ථාවේ ආනයන සීමා කිරීමට සිදුව ඇත්තේ ජාතික ආර්ථිකයක් ගොඩනැගීමටත් වඩා පවතින ආර්ථිකය රැක ගැනීමට බවය. මෙම සත්‍යයට අනුව නම් අල, ලූනු ආනයනය නැවැත්වීමට පෙර නැවැත්විය යුතු අත්‍යවශ්‍ය නොවන පමණක් නොව අවශ්‍යද නොවන ආනයන ඕනෑතරම් තිබේ. එතැනින් පටන් ගත්තොත් නම් වැඩේ ගොඩමය.

Chandana Sesath Jayakody

Read Previous

Sri Lanka to raid lunch sheet sellers, outlaw plastic garlands

Read Next

President’s Project to control floods in Colombo will be highly effective – Minister Amaraweera

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!