
dinamina.lk
නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය රට හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර, අධික සුළං, කණ්ඩි කඩා වැටීම් හේතුවෙන් ඊයේ (15) පෙරවරු 6 පමණ වන විට පුද්ගලයන් 2352ක් බලපෑමට ලක් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අනුව රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 21ක ජනතාව මෙසේ බලපෑමට ලක් වී ඇති අතර සුරක්ෂිත මධ්‍යස්ථාන සංඛ්‍යාව 3කි. ඒවායේ සිටින මුළු පවුල් සංඛ්‍යාව 7කි. පුද්ගල සංඛ්‍යාව 25කි. ඥාති නිවාස වල සිටින පවුල් සංඛ්‍යාව 373කි. පුද්ගල සංඛාව 1362කි. බලපැමට ලක් වූ මුළු පවුල් සංඛ්‍යාව 601කි. අර්ධ නිවාස හානි 82කි.
අද(16) දිනයේද බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කර ඇති කාලගුණ නිවේදනයේ සඳහන් වේ. උතුරු පළාතෙත්, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලත්, වැසිවාර කිහිපයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කන්කසන්තුරේ සිට පුත්තලම, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0-2.5 පමණ ඉහළ යෑමේ හැකියාව පවතී.
රත්නපුර- පාණදුර, කිරිඇල්ල-ඉඩම්ගොඩ, කලවාන- මතුගම, රත්නපුර-ඇලපාත, කළුතර- අගලවත්ත, බුලත්සිංහල- පරගොඩ මාර්ග මාර්ග ජලයෙන් යටවී තිබූ බවත් විශේෂයෙන් කළුගඟ අවට පහළ ප්‍රදේශවල සිටින ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙසත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
ඊයේ (15) සවස්වරුව වන විට මිල්ලකන්ද ප්‍රදේශයෙන් කළු ගඟ මහ ගංවතුර තත්ත්වයක් දක්වා වර්දනය වෙමින් තිබිණි. කුකුලේ ගඟ, පොල්ගොල්ල, ලක්ෂපාන ජලාශවල වාන් දොරටු විවෘතකර තිබු අතර රත්නපුර, කලුතර දිස්ත්‍රික්වල ඇති විය හැකි ආපදා තත්ත්වයකදී මුදා ගැනීමේ කණ්ඩායම් සූදානමින් සිටින බවත් හදිසි අවස්ථාවකදී 117 දුරකතන අංකයට දැනුම්දෙන ලෙසත් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා කියා සිටී. ඊයේ දහවල් වන විට ගිං සහ නිල්වලා ගංගාවල් ගලායන ඇතැම් ප්‍රදේශවලින් සුළු ගංවතුර තත්ත්වයන් සහ ගංවතුර ඇති වීමේ අවධානම් තත්ත්වයන් පැවතින. කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක් සඳහා නායයාම් පිළිබඳව අනතුරු ඇඟවීම් ද ඊයේ නිකුත් කර තිබිණි.
උපාලි කරුණාරත්න