අපහාස නීතිය අලු‍ත්කිරීම කාලෝචිතයි

අපහාස නීතිය අලු‍ත්කිරීම කාලෝචිතයි


ශ්‍රී ලංකාව තුළ අධිකරණයට අපහාස කිරීමේ වරද නිර්වචනය කර නොතිබීම හේතුවෙන් පැන නගින ගැටලු‍ නිරාකරණය කරගැනීම සඳහා එකී වරද සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කෙරුණු යෝජනාවකට මෙසේ අනුමැතිය හිමි වූ බවද වාර්තා විය.

කිසියම් නීතියක් නිවැරදිව නිර්වචනය වී නොමැති අවස්ථාවක අදාළ නීතියට සම්බන්ධ නඩු කටයුතුවලදී වගඋත්තරකරුවකුට හෝ විත්තිකරුවකුට හෝ නීතියේ සාධාරණත්වය හිමිවීම දැඩි සැකයකට භාජන වීම ස්වභාවිකය. ලැබෙන දඬුවම කුමක් වුවද එය භාරගෙන එයට යටත්වීම හැර වෙනත් විකල්පයක් ඔවුන්ට ඉතිරිවන්නේ නැත. එවැනි නඩු විභාග කිරීමේදී සහ තීන්දු ලබාදීමේදී පැහැදිලි හා ඒකාකාරී ක්‍රියා පටිපාටියක් දැනට අනුගමනය නොකරන බැවින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට මැදිහත්වීමේ සීමාව සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතේ වන සීමාව කෙතෙක්ද යන්න තේරුම්ගැනීම අපහසු වී ඇතැයි අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වෙන බවද සඳහන්ය. ඒ සමඟ අමාත්‍යවරයා සිය යෝජනාවේ තවදුරටත් සඳහන් කර ඇත්තේ අධිකරණයට අපහාස කිරීමේ නීතිය සම්බන්ධයෙන් මෑත කාලීනව දැඩි විවේචනයට ලක්වූ නඩු පිළිබඳ සලකා බැලීමේදී එම නීතිය නැවත සලකා බැලීම යෝග්‍ය බව පෙනී ගොස් ඇති බවය.

අධිකරණයට අපහාස කිරීමේ නීතිය 19 වැනි සියවස තරම් ඉතා ඈත අතීතයේ සිට ක්‍රියාත්මක වන්නකි. එම නීතිය හඳුන්වාදීමේ මූලික පරමාර්ථයක් වී තිබුණේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයටත් එය ඉටුකරන අධිකරණ පද්ධතියටත් සිදුවිය හැකි බලපෑම් සහ මැදිහත්වීම් වැළැක්වීමය. විනිශ්චයකාරවරුන්ට හිමිකර දී තිබෙන ආධිපත්‍යයට මෙන්ම අධිකරණයේ මහානුභාවසම්පන්නභාවයටද හානි පැමිණෙන සේ කටයුතු කිරීම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට එරෙහි වන කාරණා වශයෙන් සැලකෙයි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව අධිකරණයට අපහාස කිරීමේ වරදට දඬුවම් ලබාදීම සිදුකෙරෙන්නේ 105 (3) වගන්තිය ප්‍රකාරවය. එහි සඳහන් නිර්වචනය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය මගින්ම ක්‍රියාත්මක කෙරෙන ආකාරය විෂය මූලික වශයෙන් සහ පුළුල් ලෙස විග්‍රහ කර තිබේ. අධිකරණය තුළදී හෝ ඉන් පිටතදී හෝ සිදුකෙරෙන අධිකරණයට අපහාස කිරීමේ වරදට දඬුවම් දීමේ සම්පූර්ණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට එමගින් පවරා දී තිබේ. අධිකරණය මැනවැයි සිතන ආකාරයට ලබාදෙන දඬුවම සිරදඬුවම හෝ දඩගැසීම හෝ යන දෙයාකාරයට සිදුකළ හැකිය.

කෙසේ වුවද බොහොමයක් රටවල අධිකරණයට අපහාස කිරීමේ විධිවිධාන ඒ ආකාරයටම ක්‍රියාත්මක වන්නේ නැත. එම නීතිය අක්‍රීය කර හෝ අකර්මණ්‍ය කර ඇති බවක් හෝ එයින් අදහස් නොකරමු. එහෙත් මෑතකාලීන ඉතිහාසයේ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් එකී වැරැද්ද යටතේ ලබාදී ඇති දඬුවම් අධ්‍යයනය කිරීමෙන් ඒ ගැන යම් අදහසක් ගත හැකිය. ඊට හොඳම උදාහරණය ප්‍රමුඛ පෙළේ ඉන්දීය නීතිවේදියකු වූ ප්‍රශාන්ත් භූෂාන්ට එරෙහිව 2020 වසරේ අගෝස්තු 31 වැනිදා ලබාදුන් නඩු තීන්දුවය. භූෂාන් විසින් යවන ලද ට්විටර් පණිවුඩ දෙකකින් ඉන්දීය අධිකරණයට අපහාසයක් සිදුවූ බව ප්‍රකාශ කරමින් ඔහුට සංකේතාත්මක වශයෙන් ඉන්දීය රුපියල් 01ක් ගෙවන ලෙසට අධිකණයෙන් දඩ නියම කරනු ලැබීය. එම රුපියල සති දෙකක් තුළදී නොගෙව්වොත් ඔහුට මාස 03ක සිරදඬුවමක්ද නියම විය.

අධිකරණයට ගෞරව කරමින් තමන් එම රුපියලක දඩය ගෙවන බව ප්‍රකාශ කළ නීතිවේදී භූෂාන් එහෙත් තමන් යවන ලද ට්විටර් පණිවුඩ දෙක භාෂණයේ නිදහස ක්‍රියාවට නැංවීමක් බව ප්‍රකාශ කළේ තමන් දිගටම එම ට්විටර් පණිවුඩ දෙකේ අදහස් වෙනුවෙන් පෙනී සිටින බව සඳහන් කරමිනි. මෙම නඩුව අධිකරණයේ විභාග වීමට පෙර භූෂාන්ගේ භාෂණයේ නිදහස වෙනුවෙන් එරට විශ්‍රාමික විනිශ්චයකාරවරුන් තුන්දහසකට අධික පිරිසක් සමඟ තවත් විද්වත්හු දහස් ගණනක් පෙනී සිටියහ. එම පීඩනය කෙතරම් වී දැයි කිවහොත් භූෂාන්ට එරෙහි රුපියලේ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තීන්දුව ප්‍රකාශ කිරීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අගෝස්තු 31 දක්වා කල් දමන ලද බවද මෙහිදී සඳහන් කළ යුතුය.

අධිකරණයට අපහාස කිරීමේ නීතිය ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය තුළ නිවැරදිව නිර්වචනය වීම කොයිතරම් වැදගත්ද යන්න ඉහත සඳහන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පැහැදිලි වෙයි. විශේෂයෙන්ම භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අධිකරණයට අපහාසාත්මක විය හැකි සීමාවන් පිළිබඳව පාර්ලිමේන්තු පනතකින් පැහැදිලි කිරීම ඉතා වැදගත්ය. එසේ නොවන විට විවිධ ආණ්ඩුවල පටු දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත නඩු පැවරීම පවා කළ හැක. එවැනි හිඩැස්වලට ඉඩක් තැබිය යුතු නැත.

අධිකරණයට අපහාස කිරීමේ නීතිය වර්තමානයට ගැළපෙන සේ නිර්වචනය කිරීමෙන් එවැනි හිඩැස් වැසිය හැක. මෙය කාලීන අවශ්‍යතාවක් සේ දකින බවද සඳහන් කරමු. රටට බලපාන වැදගත් නඩු තීන්දු පවා හේතුසහගතව විවේචනය කිරීමේ නිදහස පමණක් නොව විනිශ්චයකාරවරයකුගේ නොහොබිනා පෞද්ගලික පැවැත්ම සම්බන්ධයෙන් වුවද විවේචනය කිරීමට ඇති නිදහස අධිකරණ අපහාස නීතියට යටත් නොවන තරම් උසස් ප්‍රජාතන්ත්‍රවාදී මට්ටමක නීති හඳුන්වා දී තිබෙන රටවල් තිබෙන බවද 1971 ඉන්දියාවද 1981දී මහා බ්‍රිතාන්‍යයද එවැනි නීති හඳුන්වාදී ඇති බවද මෙහිදී සිහිපත් කළ යුතුය.

මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

බාසල්, රොටර්ඩෑම් සහ ස්ටොක්හෝම් සම්මුතීන් වල පාර්ශවකරුවන්ගේ සම්මන්ත්‍රණයේදී මොකද වුනේ?

Read Next

අලියකුගේ පහර දීමකින් අයෙක් මරුට

Leave a Reply

Your email address will not be published.

Translate »