Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

අධිකරණමය අර්ථනිරූපනයෙන් පුළුල්ව සුරක්ෂණය කල යුතු පාරිසරික අයිතිය

නීතිඥ සමාධි හංසනී ප්‍රේමසිරි

මිනිසෙකු ලෙස ඉපදීම කරණකොට ගෙන හිමිවන මානව හිමිකම් නිසි ආකාරව භුක්ති විදිමටනම් ,යහපත් හා සුවදායක පරිසරයක පැවැත්ම අත්‍යවශ්‍ය වේ.යහපත් පරිසරයකින් තොරව මානව හිමිකම් අර්ථ විරහිතය.
1972 ස්ටෝක්හෝම් ප්‍රකාශනය මගින් පරිසරය හා මානව හිමිකම් අතර සම්බන්ධතාවය අන්තර්ජාතික වශයෙන් පිළිගනු ලැබීය.රියෝ ප්‍රකාශනයේ 01 වන මූලධර්මය මගින්ද චිරස්ථායි සංවර්ධනය උදාකර ගැනීම උදෙසා යහපත් පරිසරයකට ඇති අයිතිය වැදගත් බව පෙන්වා දී ඇත.කෙසේ නමුත් යහපත් පරිසරයක් කෙරේ මිනිසාට ඇති අයිතිය පුළුල්ව අර්ථනිරූපනය කරමින් පරිසරය සුරක්ෂා කිරීමේ ප්‍රභල හැකියාවක් අධිකරණය සතුය.


ශ්‍රී ලංකාවේ මානව හිමිකම් දෘෂ්ටියෙන් පරිසරය සුරැකීමේ අවස්ථා 03 ක් හදුනාගත හැක.
• රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්මය
• මූලික අයිතිවාසිකම් ලෙස
• පළාත් සභා ලැයිස්තුව /රිට් ආඥාවන්

ශ්‍රී ලංකාවේ 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VI පරිච්ජේදයේ 27[14] උප වගන්තිය ප්‍රකාරව “ජනතා අභිවෘද්ධිය උදෙසා රජය විසින් පරිසරය ආරක්ෂා කර ,සංරක්ෂණය කර වැඩි දියුණු කල යුත්තේය.”යනුවෙන් සදහන් වන අතර 28 වන ව්‍යවස්ථාව මගින් පරිසරය ආරක්ෂා කිරීම සහ එහි වටිනාකම සරක්ෂණය කිරීම ලංකාවේ ජීවත් වන සෑම පුද්ගලයෙක්ගේම යුතුකමක් වන බව දක්වා ඇත.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සුරක්ෂණය කර ඇති මූලික අයිතිවාසිකම් හරහාද පරිසර ආරක්ෂණය යන සංකල්පය ආමන්ත්‍රණය කිරීමේ ශක්‍යතාවය හිමි වේ.මෙය නඩු තීන්දු නීතිය මගින් වර්ධනය කර ගත හැකි තත්ත්වයක් ලෙස හුවා දැක්වීම උචිත වන්නේය.
මෙරට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව,12[1] ,12 [2] ,13[4] යන මූලික අයිතිවාසිකම් පදනම් කර ගනිමින් ලබා දුන්නා වූ නඩු තීන්දු නීතිය ඉහත කී තත්වයන් ආමන්ත්‍රණය කර තිබෙනු විග්‍රහ කල හැකිය.

ශ්‍රියානි සිල්වා එදිරිව ඉද්දමල්ගොඩ යන නඩු තීරණයේදී ශ්‍රී ලංකාවේ 13[4] ව්‍යවස්ථාව මගින් ව්‍යංගව ජීවත් වීමේ අයිතිය තහවුරු කර ඇති බව දැක්වූ අතර ඒ අනුව,පරිසර සාධක ඔස්සේ යහපත් ජීවිතයක් සදහා අයිතිය පවතින්නා සේම පරිසරයට හානි වීම මත යහපත් ජීවිතයක් පවත්වාගෙන යාමට බලපෑම් ඇති වන බවට තර්ක කිරීමේ ශක්‍යතාව පවතින්නේය.
Environmental Foundation Ltd V AG [1994] යන නඩුවේදී ශ්වසන රෝග ,දරුවන්ගේ අධ්‍යාපනය බිද වැටීම ,නිවාස ඉරි තැලීම වැනි තත්වයන් පදනම් කර ගනිමින් මූලික අයිතිවාසික නඩුකරයක් ලෙස මෙය පවත්වාගෙන යාමට ශ්‍රේෂ්ඨාධිකරණය ඉඩ දීම මගින් පරිසරය යන සාධකය සදහා ඉඩ ලබා දුන් බව හදුනාගත හැකිය.
තවද 12[1] ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රය මගින් ජනතාවට දැනුම් නොදීම ජනතාව අසාධාරණයට ලක් වීමක් ලෙස හදුනාගත් නඩු තීන්දු ලෙස Bulankulama v Secretary , Ministry of Industrial Development [2012] සහ Sugathapala Mendis V Chandrika Kumarathunga (Water’s Edge case) හදුන්වා දිය හැකිය. Ahangama Withanage Deshan Harindra and Four Others V Ceylon Electricity Board and Seven Others යන නඩුව තුලින්ද යහපත් පරිසරයක ජීවත් වීම සහ ජීවත් වීමේ අයිතිය සම්බන්ධව අවධානය යොමු කරන ලදී.

ශ්‍රී ලංකා නීතිය තුලින් ,අන්තර්ජාතික නෛතික තත්වයන් සම්බන්ධව අවධානය යොමු කිරීමේදී ,ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 21 වගන්තිය මගින් ජීවත් වීමේ අයිතිය තහවුරු කර ඇත්තා සේම ,එරට අධිකරණ විසින් මෙය යහපත් පරිසරයක ජීවත් වීම දක්වා පුළුල්ව වර්ධනය කිරීමට සමත්ව ඇත.ජීවත් වීමේ අයිතිය විවිධ මුහුණුවර දරණ බවත් ,හැගීම් (Emotions) ස්වභාව සෞන්දර්යද මෙයට ඇතුලත් කල හැකි බව Mathiw Locose V Kerala State Pollution Control Board නඩු තීරණයේදී පෙන්වා දී ඇත.Demodar Rao V State municipal Corporation –Hydrabhad තීරණයේදී ජීවිතය යන්නට ස්වභාවධර්මයා විසින් කල පරිත්‍යාග වැළද ගැනීමෙන්ද ,ආරක්ෂා කිරීමෙන්ද ,සුරක්ෂිත කිරීමෙන්ද,භුක්ති විදිය හැකි බවත් යම් විටෙක ඉතා සුළු ප්‍රමාණයෙන් එහෙත් ක්‍රම ක්‍රමයෙන් සිදු වන පරිසර දූෂණය මගින් එම අයිතිවාසිකම් අහිමි කල හැකි බව දක්වා ඇත.මෙමගින්,ජීවත් වීමේ අයිතිය යන්න පුළුල්ව ,යහපත් පරිසරය යන්න මත හිදිමින් විග්‍ර කර ඇත.පරිසරයට ඇති අයිතිය අහිමි වීම මානව ගරුත්වයට ඇති අයිතිය අහිමි වීමක් ලෙසත් ,මානව ගරුත්වය අහිමි වීම ජීවත් වීමේ අයිතිය අහිමි වීමක් බවත් Kinkri Devi V State of Himachal Pradesh තීරණයේදී දක්වා ඇත.තවද යහපත් පරිසරයක ජීවත් වීම යන්න මූලික අයිතිවාසිකමක් ලෙස ප්‍රභලව හුවා දක්වනු ලැබූ නඩු තීරණ ලෙස Rural Litigation and Enfitlement Kendra V State of Uttra Pradesh –Dohradum ,Shantistar Builders V Narayan, Chameli Singh V State Of Altra Pradesh,Subash Kumar V State Of Bihar ,MC Metha V Kamalanath ,K.M Chinnappa V Union Of India යන තීරණ පෙන්වා දිය හැකිය.
රටෙහි ස්වභාවික වන ආවරණය විනාශ වීමේ හේතුවෙන් තමන්ගේ පාරිසරික අයිතිය විනාශ වන බවට බාලවයස්කරුවන් පිරිසක් විසින් ගොනු කරන ලස ඉතා සුවිශේෂී නඩුවක් ලෙස පිලිපීනයේ තීරණය වූ Juna Antonio Oposa and Others V The Honourable Eulgencio S.Factoran and Another පෙන්වා දිය හැකිය.වර්තමාන මෙන්ම නූපන් පරම්පරාවද නියෝජනය වන ලෙස ගොනු වූ මෙම නඩුකාරය මගින් රාජ්‍ය යනු වර්තමාන හා අනාගත පරම්පරාවන් උදෙසා පරිසරයේ ආරක්ෂකයා වශයෙන් කටයුතු කල යුතු ආයතනය බව පෙන්වා දෙන ලදී.

යහපත් පරිසරයක ජීවත් වීම පුළුල්ව විග්‍රහ කල හැකි මානව අයිතිවාසිකමක් වන්න සේම ,ඇතැම් රාජයන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හිමි කර දෙනු ලබා ඇති මූලික අයිතිවාසිකම් ඔස්සේ යමින් ,අධිකරණය විසින් පරිසරය යන සංවේදී තේමාව සුරක්ෂණය කිරීමට පියවරයන් ගෙන ඇති බව පැහැදිලි වන්නේය.එසේම පාරිසරික අයිතිය යන්න වර්තමාන පරම්පරාව මත පමණක් නොව නූපන් අනාගත පරම්පරාව උදෙසාද පවතින්නා වූ ,ඔවුන් උදෙසාද සුරක්ෂා කල යුතු වන්නාවූ අයිතිවාසිකමක් වන්නේය.කෙසේ නමුත් දෛනිකව ලොව පුරා පරිසර සංහාරයන් ඉතාමත් ප්‍රභල ලෙසත්,තියුණු ලෙසත් සිදු වෙමින් පවතින කාලච්ජේදයක ,පාරිසරික සුරක්ෂණය උදෙසා නෛතික රාමුව තව දුරටත් ශක්තිමත් විය යුතු වන්නා සේම පාරිසරික සුරක්ෂණය උදෙසා අධිකරණමය අර්ථනිරූපන කාර්ය භාරය තව දුරටත් පුළුල් වපසරියක් තුල සිදු වීම අවශ්‍ය වන්නේමය.

සැකසුම – සමාධි හංසනී ප්‍රේමසිරි

Chandana Sesath Jayakody

Read Previous

Env. Ministry identifies new sensitive ecological zones

Read Next

අවන්ත ආටිගල ගේ “අද” කාටුනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!